අපගේ දැක්ම

යහපාලනය තුළින් විශිෂ්ටතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත්වීම

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනූකූලව සේවා සැපයීම , සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් තිරසාර හා සැලසුම් සහගත  සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම

 

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කය වන මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාස 20 අතරින් සංකීර්ණ ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයක් ලෙස කුණ්ඩසාලේ ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසය හඳින්විය හැක.

කුණ්ඩසාලේ   ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසය,

උතුරින් - පන්විල ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයෙන්ද,

නැගෙනහිරින් - මැදදුම්බර ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයෙන්ද,

දකුණින් - ගඟවට කෝරලේ ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයෙන්ද,

බස්නාහිරින් - පාතදුම්බර ප්‍රාදේශීය මහ ලේකම් කොට්ඨාසයෙන්ද,

මායිම්ව පිහිටා ඇත.

කොට්ඨාසයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 85.8 ක් වන අතර පරිපාලන කටයුතු වල පහසුව සඳහා ග්‍රාම නිළධාරි කොට්ඨාස 80කට බෙදා ඇත. මෙම ග්‍රාම නිළධාරි වසම් තුළ ගම්මාන 263ක් පිහිටා ඇත.

2017 වර්ෂයේ කොට්ඨාසය තුල ජනගහනය 140,299ක් වන අතර පුරුෂ ජනගහනය 67989ක් හා ස්ත්‍රී ජනගහනය 72310ක් වේ.මහනුවර නගරයට කිලෝ මීටර් 16ක් දුරින් පිහිටි කුණ්ඩසාලේ අර්ධ නාගරික ප්‍රදේශයක් ලෙස ශිඝයෙන් දියුණුව කරා ලඟා වීම නිසා ජනගහනය අධික වේ. එමෙන්ම පල්ලෙකැලේ කර්මාන්තපුරය, කාර්මික ජනපදය, ප්‍රධාන ලේකම් කාර්යාලය, අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පොලිස් රෝහල, පළාත් ආයුර්වේද රෝහල ඇතුළු රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් සුථාපිත කර ඇති බැවින් මෙම කොට්ඨාසය තුල මාර්ග, පානීය ජලය, විදුලිය හා සන්නිවේදන පහසුකම් වැනි භෞතික යටිතල පහසුකම් සංවර්ධනය වී ඇත.

සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී.21.25ක් පමණ වන අතර, සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 25.25 - 27 ක් අතර පවතී. ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථාන ලෙස ගල්මඩුව රජමහා විහාරය, දෙගල්දොරුව රජමහා විහාරය, කුණ්ඩසාලේ රජමහා විහාරය, ආදී ස්ථාන හැඳින්විය හැක. නයිස්ඩේල් දිය ඇල්ල, නාරම්පනාව නාන තටාකය පාරිසරික සෞන්දර්යය විදහාපාන ස්ථාන ලෙස හැඳින්විය හැක.

ස්වාභාවික සම්පත් ලෙස භූගත ඩොලමයිට් හා කළුගල් වැනි පාෂාණ නිධි තිබෙන අතර, පාරම්පරික කලා නිර්මාණ විදහා දක්වනු ලබන පිත්තල භාණ්ඩ, හණ කර්මාන්තය හා ලී කැටයම් කලාව සඳහන් කල හැක. භෞතික ආර්ථික හා සාමාජීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ආගමික සංවර්ධන කටයුතු හා සමාජ සුභ සාධක පහසුකම් සංවර්ධනය කිරීම මූලික වශයෙන් සමස්ථ සංවර්ධන කටයුතු වලදී අපේක්ෂා කරයි.කොට්ඨාසය තුල පාසැල් 39ක් ඇති අතර සිංහල මාධ්‍ය පාසැල් 30ක්ද දෙමල මාධ්‍ය පාසැල් 07ක්ද ඇත. ඒ අතරින් ජාතික පාසැල් 02ක්ද, මධ්‍ය මහා විද්‍යාල 01ක්ද, මහා විද්‍යාල 15ක්ද, කණිෂ්ඨ විද්‍යාල 13, සහ ප්‍රාථමික විද්‍යාල 04, ජාත්‍යන්තර පාසැල් 02ක්ද ඇත. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 01ක්ද, පොලිස් අභ්‍යාස විද්‍යාල 01ක්ද කොට්ඨාසය තුල පිහිටා ඇත.

වර්තමානයේ සීඝ්‍රයෙන් නාගරීකරණය වන ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි මෙම කොට්ඨාසයේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන ස්ථාන කිහිපයක් ද ස්ථාපිත වී ඇත. ඒ අතුරින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රමුඛ වේ. පල්ලෙකැලේ ආයුර්වේද රෝහලද ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූ ස්ථානයකි. එමෙන්ම පල්ලෙකැලේ කර්මාන්ත පුරය ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන ආයතනයකි.




Scroll To Top